Sunday, August 27, 2017

අයර්ලන්තයේ කැනේඩියානු නිල නිවසේ 'භුතාත්මයක්'?






සාමාන්‍යයෙන් තානාපතිවරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ අවධානයට ලක් වන්නේ විදේශ සබඳතා, විදේශ ප්‍රතිපත්ති වැනි කරුණුය.
මේ දිනවල එවැනි කරුණුවලට අමතරව තවත් විශේෂ යමක් අයර්ලන්තයේ සිටින කැනේඩියානු තානාපතිවරයාගේ අවධානයට ලක්ව තිබේ.
ඒ සිය නිල නිවස තුළ සිදුවන කිසියම් බියකරු සිදුවීම් ජාලයකි.
ඩබ්ලින් අගනුවර පිහිටි කැනේඩියානු තානාපති නිල නිවස තුළ භූතාත්මයක් සැරිසරන බවට වූ අදහස හේතුවෙන් තානාපති කෙවින් විකර්ස් තිගැස්මට ලක්ව සිටී.
නිල නිවසේ ශාලාවක් දෙසින් අසාමාන්‍ය උස් ශබ්ද, තදින් හුස්ම ගන්නවා වැනි හඬ සහ දැඩි පාද තැබීම් වැනි හඬ ඇසීම පිළිබඳ කැනේඩියානු තානාපතිවරයා ඔහුගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.
එය අයර්ලන්තයේ පාස්කු පිබිදීමට සම්බන්ධ වූ නායකයෙකුගේ අවතාරය විය හැකි බව තානාපතිවරයාගේ විශ්වාසය වී තිබේ.
අයර්ලන්ත ජාතිකවාදියෙකු වූ පැට්‍රික් පියස් වත්මන් තානාපති නිවසේ එවක වාසය කර ඇති බව එහි මුල්වරට පැමිණි තානාපති කෙවින් විකර්ස්ට අසන්නට ලැබී ඇත.
පැට්‍රික් පියස්, බ්‍රිතාන්‍ය පාලනය නෙරපා දමා අයර්ලන්ත ජනරජයක් පිහිටුවීම සඳහා 1916 වසරේ දියත් කළ කැරැල්ලේ ප්‍රමුඛයෙකු ලෙස කටයුතු කළේය.
දින හයක් පුරා පැවති සටන්වල දී 450 අධික පිරිසක් මරණයට පත් වූ අතර 2,600 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
කැරැල්ලට සම්බන්ධව කටයුතු කිරීම හේතුවෙන් යුද අධිකරණය වෙත පමුණුවන ලද ඔහු පසුව මරා දමනු ලැබිණ.
නිල නිවසේ වාසය කිරීමට පැමිණීමට පෙර තමන් අවතාර සහ භූතාත්ම පිළිබඳ විශ්වාස නොකළ බව තානාපතිවරයා පවසයි.
"සමහර හවස් කාලවල ඔහු හෝ ඇය කැලඹීමකට පත් වී සිටිනවා වගේ පෙනෙන්න තිබෙනවා. ඊට පස්සේ දින ගණනාවක නිශ්ශබ්දතාවක් පවතිනවා," යනුවෙන් තානාපතිවරයා කියා සිටියේය.
ඉහත කී ෆේස්බුක් සටහන තැබීමට පෙර දින රූපවාහිනිය නරඹමින් සිටි බව කී ඔහු "එකපාරටම කෑම කාමරේ පොළොව මතට බර දම්වැලක් වැටෙන ශබ්දය ඇහුණා. මම ඉක්මනට එතනට ගියා. නමුත් කිසි දෙයක් බිම තිබුණේ නැහැ," යනුවෙන් සඳහන් කළේය.
සති කිහිපයකට පෙර තරප්පු පෙළ මත තදින් අඩි තබන සහ හුස්ම ගන්නා හඬක් ඇසුණු බව පවසන තානාපතිවරයා ඒ වෙත ගොස් පරික්ෂා කළත් එහි කිසිවෙකු නොවූ බව කියා සිටියේය.
නිවසේ ගෘහ සේවිකාව ඉහළ මහලට යාම ප්‍රතික්ෂේප කරන බවත් තානාපතිවරයා සඳහන් කළේය.
"මේ කතාව ගැන කාට හරි සැකයක් තිබෙනවා නම් ඔවුන්ට රැයක් හෝ දෙකක් මෙහි ගත කරන්න පුළුවන්," යනුවෙන් තානාපති කෙවින් විකර්ස් වැඩිදුරටත් පැවසීය.
2015 වසරේ දී අයර්ලන්තයේ කැනේඩියානු තානාපති පදවියට පත්වීමට ප්‍රථම කෙවින් විකර්ස් කලක් ජාතික පොලිස් සේවයේ නිලධාරියෙකු ලෙස ද පසුව කැනඩා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ද සේවය
bbc

Saturday, August 26, 2017

පොප් තරුව.


සංගීත සංදර්ශනවලදීත්, පොදු සමාජයේදීත් විසිතුරු මෝස්‌තරවලින් සැරසී සිය රසික රසිකාවියන් පිනවීම පොප් තාරකාවන්ගේ සිරිතය.
ඔවුන්ට එම විසිතුරු මෝස්‌තර සහිත ඇඳුම් පැළඳුම් නිර්මාණය කර දෙන්නේ මෝස්‌තර නිර්මාණ ශිල්පීන්ය.
එහෙත් බොහෝ පොප් තාරකාවෝ දැන් තමන්ගේම මෝස්‌තර නිර්මාණයට ද පිවිසෙමින් සිටිති.
මේ වසර තුළ පමණක් ස්කෙප්ටා (Skepta) සිය මංගල මෝස්‌තර නිර්මාණ එකතුව එළි දැක්වූ අතර, සෙයින් මලික් (Zayn Malik) වර්සාචි වර්සස් (Versace Versus) නම් එකතුව මෝස්‌තර ලෝලීන් වෙත පුද කළේය.
එහෙත් එය කෙතරම් පහසු කටයුත්තක් ද?
මේ මෝස්‌තර නිරුපණයට පිවිසෙන පොප් තාරකාවන්ගේ කතාවය.

වික්ටෝරියා බෙකම්

'පොෂ් ස්පයිස්' (Posh Spice) නමින් රසික රසිකාවියන් හඳුනන බ්‍රිතාන්‍ය ජාතික වික්ටෝරියා බෙකම් බොහෝ කලෙකට පෙරම සංගීත ලෝකයට සමු දුන්නාය.
'ස්පයිස් ගර්ල්ස්' (Spice Girls) සංගීත කණ්ඩායමේ සාමාජිකාවක ලෙසින් සංගීත ක්ෂේත්‍රයට පිවිසි ඇය දැන් මෝස්‌තර නිර්මාණ ශිල්පිනියකි.
බ්‍රිතාන්‍යයේ පාපන්දු තාරුකාව, ඩේවිඩ් බෙකම් ගේ බිරිඳවන ඇය සිය මෝස්‌තර නිර්මාණ මුලින්ම එළි දැක්වූයේ 2008 දීය.
ආරම්භයේදී ප්‍රබල සාර්ථකත්වයක් හිමි නොවුණ ද, ඉන් අනතුරුව ඇය එළි දැක් වූ නිර්මාණ එකතුව මෝස්‌තර විවේචකයන්ගේ ප්‍රබල ප්‍රසාදයට ලක්විය.
එවක් පටන් ඇය දිගින් දිගින් දිගටම ඉතා දක්ෂ නිර්මාණකරණයක යෙදෙමින් සිටින්නීය.

රිහානා


ගීත ගායනයේ සහ නර්තනයේ පමණක් නොව සිය මෝස්‌තර නිර්මාණ හැකියාව ද පසුගිය වසර කිහිපය මුළුල්ලේ ප්‍රදර්ශනය කිරීමට ජනප්‍රිය පොප් ගායිකා රිහානා (Rihanna) සමත් වී සිටින්නීය.
මෝස්‌තර නිර්මාණ ලෝකයේ ඇය රතු පලස මත පා තබන්නේ ක්ෂේත්‍රයේ දැවැන්තයන් වන Stella McCartney, Chanel සහ Pradaවැනි චරිත සහ සන්නාම සමගය.
අනෙක් අතට ඇය නිර්මාණය කරන්නේ අලංකාර ඇඳුම් පැළඳුම් පමණක්මත් නොවේ.
යට ඇඳුම්, ඩෙනිම් සහ ටී ෂර්ට් ද අයගේ නිර්මාණවලට ඇතුළත්ය.
එහිදී තමන්ට හැකි ඉහලම නිර්මාණය එළි දැක්වීමට රිහානා උපරිම උත්සාහ දරන බව මෝස්‌තර විචාරකයෝ පවසති.
ඇයගේ නිර්මාණ කෙතරම් ප්‍රසාදයට පත්වූයේ ද යත් 2014 දී පූමා (Puma) සමාගමේ කාන්තා පාවහන් නිර්මාණය කිරීමේ අධ්‍යක්ෂවරියක ලෙසින් ද ඇය පත්කෙරින.
ඇඳුම් පැළඳුම් පමණක් නොව නොව අයගේ නමින් සුවඳ විලවුන් ද නිෂ්පාදනය කෙරේ.

කන්යේ වෙස්ට්

කන්යේ වෙස්ට් මෑත යුගයේ මෝස්‌තර නිර්මාණ ක්ෂේත්‍රයට එකතු වූ එක් ඇමෙරිකානු තාරකාවකි.
ඔහු ලොව පුරා ප්‍රබල ප්‍රසිද්ධියක් උසුලන මෝස්‌තර නිරුපිකාවක වන කිම් කාඩේෂියන් ගේ සැමියාය.
නයිකි සමාගමේ එකතුවක් සමග 2009 දී මුලින්ම මෝස්‌තර නිර්මාණයට සම්බන්ධ වූ කන්යේ වෙස්ට් (Kanye West), ඉන් අනතුරුව Luis Vuitton වැනි පාවහන් නිර්මාණයට ද එක් විය.
මෝස්‌තර නිර්මාණය පිළිබඳව තමන් බැරෑරුම්ව සලකන බව සනාථ කිරීම පිණිස ඔහු ෆෙන්ඩි (Fendi) සමාගම සමග පුහුණු වැඩසටහනකට ද සහභාගි විය.
Air Yeezys වෙනුවෙන් 2009 දී ඔහු නිර්මාණය කරන ලද පාවහන් යුවලක් මේ වන විට ඩොලර් 1349.99 කට eBay වෙබ් අඩවියේ අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබේ.
BBC

මැතිවරණය කවදාද?

පළාත් පාලන මැතිවරණය දෙසැම්බර් 09 හෝ ඊට පෙර පැවැත්වීමට උපරිම උත්සහයක් දරන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පළාත් පාලන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සිකුරාදා (අගෝස්තු 25) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
එසේ සම්මත කර ගත් පනත් කෙටුම්පත සහතික කර තමන් වෙත ලැබීමෙන් පසු මැතිවරණය පැවැත්වීම සඳහා අවම වශයෙන් දින හැත්තෑ පහක්වත් අවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.
නමුත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පමණක් පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය තීන්දු කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
"පනත සහතික කර එන්නත් සැප්තැම්බර් පහ, හය වගේ දිනයක් යයි. එවිට ඡන්දය පැවැත්වෙන දිනය කොමිෂන් සභාව එක් වී තීරණය කරන තුරු නිශ්චිතවම කියන්න බැහැ. නමුත් මේ අවුරුද්දෙම තියන්න උපරිම උත්සාහය දරනවා"
ඒ සඳහා 2017 ඡන්ද හිමි නාම ලේඛනය භාවිත කිරීමට බලාපොරොත්තු වන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියේය.
යම් හෙයකින් පළාත් පාලන මැතිවරණය දෙසැම්බර් 09 හෝ ඊට පෙර පැවැත්වීමට නොහැකි වුවහොත් එය ලබන වසරේ ජනවාරි මුල් සති දෙක ඇතුළත සෙනසුරාදා දිනයක පැවැත්වීමට පියවර ගනු ලබන බව ඔහු පැවසීය.
මේ අතර 2017 ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් වී නොමැති පුද්ගලයන්ට සිය නම ඊට ඇතුළත් කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.
විශේෂයෙන් තරුණ ප්‍රජාව ඉලක්ක කර එවැනි වැඩසටහන් ක්‍රියාත්මක වන බව කී ඔහු මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට (www.elections.gov.lk) පැමිණ 2017 ඡන්ද හිමි නාම ලේඛනයට සිය නම ඇතුළත් වී ඇත්දැයි පරීක්ෂා කර ගන්නා ලෙස ඉල්ලා සිටී.
ඡන්ද හිමි නාම ලේඛනයට සිය නම ඇතුළත් වී නොමැති නම් සැප්තැම්බර් 06 වෙනිදාට පෙර ඒ බව දැන්විය යුතුය.
ඡන්ද හිමි නාම ලේඛනයට සිය නම ඇතුළත් වී නොමැති බව දැන්විය හැකි හැකි ක්‍රමවේද:
  • ග්‍රාම නිලධාරි
  • ග්‍රාම නිලධාරි කාර්යාලය
  • මැතිවරණ ලේකම් කාර්යාලය
  • මැතිවරණ කොමිෂන් සභාව (Election Commission of Sri Lanka නමින් ඇති නිල ෆේස්බුක් පිටුවට පණිවුඩයක් මාර්ගයෙන් ද දැන්විය හැක)
  • BBC

Friday, August 25, 2017

ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ'


උතුරු ඉන්දියාවේ ඉතා ජනප්‍රිය පූජකයෙකු වන ගුර්මීත් රාම් රහීම් සිං (Gurmeet Ram Rahim Singh) ස්ත්‍රී දූෂණ චෝදනාවලට වැරදිකරු බව අධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව හටගත් ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 23 දෙනෙකුවත් මරුමුවට පත් වී තිබේ.
ඒ අතරින් පිරිසක් මරුමුවට පත්වූයේ හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාරවලිනි.
මිය ගිය සියලු දෙනා ගුර්මීත් රාම් රහීම් සිං පූජකවරයාගේ අනුගාමිකයන් බව විශ්වාස කෙරේ.
ප්‍රචණ්ඩ ගැටුම් හේතුවෙන් ඔහුගේ අනුගාමිකයන් 2500 දෙනෙකුවත් අත්අඩංගුවට ගන්නා ලද බව පොලිසිය පවසයි. කෙසේ නමුත් තත්වය දැන් පාලනය කර තිබෙන බව ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියා පැවසීය.
ප්‍රදේශයේ පාසල් සහ රජයේ කාර්යාල සියල්ල වසා දමා තිබෙන අතර, මහාමාර්ග වසා දමා දුම්රිය ධාවනය ද නතර කොට තිබේ.
ප්‍රචණ්ඩ ගැටුම් ඇතිවුවහොත් අත්අඩංගුවට ගන්නා පිරිස රැඳවීම පිණිස ක්‍රීඩාංගන තුනක් වෙන කරනු ලැබ තිබුණි.
අධිකරණ තීන්දුවෙන් අනතුරුව කෝපයට පත් ඔහුගේ අනුගාමිකයන් පන්ච්කුලා (Panchkula) නගරය පුරා ප්‍රචණ්ඩ උද්ඝෝෂණවල නිරතව සිටින අතර, පොදු දේපොළවලට අලාභහානි කරමින් සිටින බවත් වාර්තා වේ.
දුම්රිය ස්ථාන දෙකකටවත් ගිණි තැබූ උද්ඝෝෂකයන්, මෝටර් රථවලට පහර දී මාධ්‍ය ආයතනවල වෑන් රථවලට ද ගිණි තබා තිබේ.
ගුර්මීත් රාම් රහීම් සිං ආගමික නායකයාට ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත අනුගාමිකයන් පිරිසක් සිටින බව විශ්වාස කෙරේ.







2002 දී දෙර සාචා සවුදා (Dera Sacha Sauda) නම් සිය නිකායේ මූලස්ථානයේදී කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කිරීමේ චෝදනාවට වැරදිකරු බව අධිකරණය සිකුරාදා (අගෝස්තු 25) තීන්දු කළේය.
අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට ප්‍රථම ලක්ෂ දෙකකට අධික ඔහුගේ අනුගාමිකයන් පිරිසක් චන්දිගාර් නගරයට රැස්ව සිටියහ.
තීන්දුව සමග ප්‍රචණ්ඩ ගැටුම් හටගනු ඇතැයි අපේක්ෂාවෙන් දහස් ගණන් හමුදා භටයන්, පොලිසිය සහ නිල නොවන හමුදා භටයන් නගරයට කැඳවා තිබුණි.
තත්ත්වය පාලනය කිරීම පිණිස ඔවුන් මහා ජනකාය වෙතට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් සිටින බව පන්ච්කුලා නගරයේ සිටින බීබීසී වාර්තාකරු රොබින් සිං පවසයි.
නගරයේ ප්‍රදේශ කිහිපයක සහ පන්ජාබ් ප්‍රාන්තය පුරාම ඇඳිරි නීතිය පනවනු ලැබ තිබේ.හමුදා වෙඩි ප්‍රහාරයෙන් මියගිය පස් දෙනා හැරුණු විට තවත් පිරිසක් තුවාල ලැබූහ.
මේ අතර ප්‍රචණ්ඩ ගැටුම් දිල්ලි අගනුවර දක්වා ද පැතිරගොස් තිබෙන අතර, අගනුවර දුම්රිය ස්ථාන දෙකකටවත් ගිණි තබා තිබේ.

කවුද මේ ගුර්මීත් රාම් රහීම් සිං?

  • ඔහු නායකත්වය දෙන 'දෙර සාචා සවුදා' නිකාය ලොව පුරා වෙසෙන ලක්ෂ 60 කට ආසන්න පිරිසක් අනුගමනය කරන බව පැවසේ
  • ගුර්මීත් රාම් රහීම් සිං "සමාජ සුබසාධනය උදෙසා කැපවූ ආධ්‍යාත්මික සංවිධානයක්" බව පැවසෙන එම නිකායේ නායකත්වයට පත්වූයේ 23 හැවිරිදි වියේදීය
  • රොක් සංගීත ප්‍රසංගවල ගයන, රිදී තිරයේ රඟන තමන්ගේම වූ ආහාර නිෂ්පාදන සමාගමක් ද ඔහුට තිබේ
  • ර්මීත් රාම් සිං ඇඟලන දිලිසෙන ඇදුම් ආයිත්තම් නිසා "රොක් තාරුකා බාබා" ලෙසින් ද ඔහු හැඳින්වේ
  • සීක් සහ හින්දු ආගම් අපහාසයට ලක් කරන බවට ඔහුට චෝදනා එල්ල වේ
  • මිනීමැරීම සහ ස්ත්‍රී දූෂණ පිළිබඳව ඔහුට එරෙහිව පරීක්ෂණ පැවැත්විණ. ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරයි
  • "දෙවියන්ට සමීපවීම සඳහා" වෘෂණ කෝෂ ඡේදනය කරගන්නා මෙන් සිය අනුගාමිකයන්ට බල කරන බවට ඔහුට චෝදනා එල්ල වේ     
  • BBC

සැම්සුන් උරුමකරුට වසර පහක සිර දඬුවමක්


දූෂණ චෝදනාවලට වරදකරු වූ සැම්සුන් සමාගමේ උරුමක්කරු ලී ජායේ-යොංට වසර පහක සිර දඬුවමක් නියම කිරීමට දකුණු කොරියානු අධිකරණයක් නියෝග කළේය.
අල්ලස් ලබාදීම ඇතුළු තවත් චෝදනා කීපයක් මත ඔහු පසුගිය පෙබරවාරි මාසයේ දී අත්අඩංගුවට ගැනිණි.
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක් ගුන් හේට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒමට හේතුපාදක වූ අපචාර චෝදනා සම්බන්ධයෙන් ද ලී ජායේ-යොංට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක විය.
දකුණු කොරියාවේ විශාලතම ව්‍යාපාරය වන සැම්සුන් සමාගමේ උරුමක්කරු ලී ජායේ-යොං ඔහුට එරෙහිව නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරයි.
දේශපාලනික අනුග්‍රහය ලබාගැනීමේ අරමුණින් හිටපු ජනාධිපතිනියගේ හිතවතියක විසින් පවත්වාගෙන ගිය ලාභ අරමුණු කර නොගත් පදනමකට ඩොලර් මිලියන තිස් හයක මුදලක් ලබා දී ඇති බවට ඔහුට චෝදනා එල්ල වේ.
අල්ලස් දීම, මූල්‍ය වංචා සහ විදෙස් රටවල වත්කම් සඟවා තැබීම යන චෝදනා ද ඊට ඇතුළත්ය.
අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ලී ජායේ-යොංගේ නීතිඥයෙකු පැවසීය.
අදාළ අධිකරණ නියෝගය ලබා දීමත් සමග කොටස් වෙළෙඳපළේ සැම්සුන් කොටස් මිල 1% පහත වැටුණි.

Thursday, August 24, 2017

උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද?

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් (Kim Jong-un) යුද අවි නිෂ්පාදනාගාරයක සිදු කළ අධීක්ෂණ චාරිකාවක් පිළිබඳව මාධ්‍ය වාර්තාකරණයක දී ඔවුන් විසින් මෙතෙක් අත්හදා බලා නොමැති මිසයිල් අවි දෙකක් ගැන තොරතුරු හෙළිදරව් වී ඇත.
කිම් ජොන් අන් උතුරු කොරියානු ආරක්ෂක විද්‍යා ඇකඩමියේ සිදු කළ සංචාරය වාර්තා කරමින් KCNA රාජ්‍ය ප්‍රවෘත්ති ආයතනය මගින් නිකුත් කරනු ලැබ ඇති ඡායාරූප මත 'හ්වාසොන්ග්' -13 (Hwasong-13) සහ පුක්ගුක්සොන්ග් -3 (Pukguksong-3) යනුවෙන් නම් කරනු ලැබ ඇති මිසයිල් වර්ග දෙකක් ගැන තොරතුරු දැක්වෙයි.
එම පින්තූර හොඳින් නිරීක්ෂණය කරන විට ඉහත කී මිසයිල් වර්ග දෙක පිළිබඳව විස්තර කෙරෙන බිත්ති සටහන් ඒ තුළ දක්නට ලැබෙයි.
එම අධීක්ෂණ චාරිකාව සම්බන්ධයෙන් නිකුත් කරන ලද පින්තූරයක ඇතුළත් එක් බිත්තියක 'හ්වාසොන්ග්' -13 (Hwasong-13) නව මිසයිල් වර්ගයේ රූප සටහන් මත කිම් ජොන් අන් ගේ සෙවනැල්ල වැටී ඇති අතර ඊට විරුද්ධ පැත්තේ බිත්තියේ සවි කරනු ලැබ ඇති සබ්මැරීන් මගින් පහර දෙන නව බැලස්ටික් මිසයිලයකට අදාළ රූ සටහනේ වැඩි කොටසක් නිලධාරීන්ට වැසී ඇත.
'හ්වාසොන්ග්' -13 (Hwasong-13) අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයේ (ICBM) තෙවැනි අදියරක් පෙන්නුම් කරයි.
පුක්ගුක්සොන්ග් -3 (Pukguksong-3) රූප සටහනේ වැඩි කොටස නිලධාරීන්ගෙන් වැසී ඇතත්, එය සබ්මැරීන් මගින් නිකුත් කරන බැලිස්ටික් මිසයිලයක් (SLBM) බව පෙනී යයි.
ෆොටෝ සංදර්ශන වලට යාමෙන් උතුරු කොරියාව තම අවි ආයුධ පිළිබඳ තොරතුරු ලෝකයට දුන් පළමු අවස්ථාව මෙය නොවේ.
තවත් ඇසකින් බැලුවොත් මෙය 'ප්යෝන්ග්යෑන්' බලධාරීන් සිය යුද ශක්තිය සතුරු පාර්ශවයට සැලසුම් සහගතව දැනුම් දීමක් වෙයි.
කිම් ජොන් අන් සිදු කළ අධීක්ෂණ චාරිකාවට අදාළ වාර්තාව කල් යල් බලා නිකුත් කරන ලද්දක් වන බව පෙනී යන්නේ, ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව හවුලේ සිදු කරන යුද අභ්‍යාසයන්හි තුන් වෙනි දවසේ එය නිකුත් කරනු ලැබීමත් සමඟයි.
සිය ප්‍රධාන එදිරිවාදීන් දෙදෙනාගේ එම ඒකාබද්ධ යුද අභ්‍යාසයට 'ප්යෝන්ග්යෑන්' පාලනය විරෝධය පළ කරයි.
දකුණු කොරියාවේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සඳහා වන සංසදයේ ෂින් ජොන් වූ (Shin Jong-woo) දකුණු කොරියානු පුවත්පතකට අදහස් දක්වමින් 'ඇතැම්විට සැබෑ අවි ආයුධ මගින් හෝ තවත් විටක අවි පිළිබඳ රූප සටහන් යොදා ගනිමින් හෝ ඔවුන්ගේ යුද ප්‍රතාපය රාජ්‍ය මාධ්‍ය ජාලය ඔස්සේ ලෝකයට ප්‍රදර්ශනය කිරීමේ ඉතිහාසයක් 'ප්යෝන්ග්යෑන්' පාලනය සතු බව' ප්‍රකාශ කළේය.
KCNA උතුරු කොරියානු රාජ්‍ය ප්‍රවෘත්ති ආයතනයට අනුව වඩාත් ඝන රොකට් ඉන්ධන සහ මිසයිල් මගින් මුදා හරිනු ලබන ප්‍රහාරක බෝම්බ නිපදවන මෙන් කිම් ජොන් අන් විද්‍යාඥයන්ට නියෝග කර ඇත.
මෙහි මුලින් කී ඡායාරූපයේ බිත්තිවල පෙනෙන රූ සටහන් සහ එම නියෝගයට අයත් නිර්දේශ අතර ගැළපීමක් පෙන්නුම් කරයි.
කෙසේවුවද, එමගින් උතුරු කොරියාව දෙන පණිවුඩය ඉතා පැහැදිලි ය.
කොරියානු කලාපයේ 'ඇමෙරිකානු යුද බලයේ ඇස් ඉදිරිපිටට තමන් ලඟා වී ඇත' යන පණිවුඩය එමගින් වොෂින්ටනයට දී ඇත.
ඔවුන් එම බිය ගැන්වීමේ උපක්‍රමය පාවිච්චි කරන්නේ ගැටුම්කාරී උණුසුම උත්සන්න වී ඇති අවස්ථාවලයි.
2013 පෙබරවාරි මාසයේ උතුරු කොරියාව සිදු කළ න්‍යෂ්ටික පිපිරීමකින් අනතුරුව කලාපය යුද්ධයක අද්දරට ලඟා වී ඇති අතරවාරයේ එම වසරේ මාර්තු මාසයේත් කිම් ජොන් අන් මෙවැනිම ඡායාරූප හරඹයක නිරත විය.
එක් පින්තූරයක කැමරාවට පහසුවෙන් හසු වෙන ඇලයකට සවි කරන ලද බිත්ති පුවරුවක මෙසේ දැක්වෙයි.
"ඇමෙරිකා එක්සත් ජනපදයට පහර දීමේ සැලැස්ම"
එම ප්‍රකාශනය ඇතුළත් ඡායරුපයේ කිම් ජොන් අන් සිය යුද නිලධාරීන් සමඟ සටහන් අධීක්ෂණයක නිරත වෙමින් සිටිනු දැක්වෙයි.
බිත්ති සිතියමේ දැක්වෙන පරිදි ඔවුන්ගේ ඉලක්කයක් වන්නේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින්(Austin) නගරයයි.
එහෙත් එම පිංතූරය ටෙක්සාස්හි 'ට්විටර්' පණිවුඩ නිකුත් කරන්නන්ගේ සමච්චලයට ලක් වූ බව වොෂිංටන් පෝස්ට් පුවත්පත වාර්තා කළේය.
එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාවක් තවමත් උතුරු කොරියාව සතු නොවන බව බොහෝ දුරට නියත තත්වයකි.
BBC

ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක්



බරපතල දූෂණ, වංචා චෝදනා සහ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් 'පක්ෂග්‍රාහී වීම' ඇතුළු චෝදනා හේතුවෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසය භංග වී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
ඇමතිවරයාට එරෙහි සිය චෝදනා ඇතුළත් විශ්වාස භංග යෝජනාවක් මින් මොහොතකට පෙර කතානායක කරු ජයසූරිය වෙත භාර දුන් බව ද ඒකාබද්ධ විපක්ෂය පවසයි.
චෝදනා දහයක් යටතේ අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාවට මන්ත්‍රීවරුන් 39 දෙනෙකු අත්සන් තබා තිබේ.
මෑතක වන තුරුම සම්මුතිවාදී ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය පදවියක් හෙබැවූ ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයා සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙන්ම ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ ද යෝජනාවට අත්සන් තැබූවන් අතර වෙති.




ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුවවර්ධන මන්ත්‍රීවරයා ද එයට අත්සන් තබා ඇතත්, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ එයට අත්සන් තබා නැත.

අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහි චෝදනා:

  1. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබෙන චෝදනා සම්බන්ධ විභාගයට සහභාගි නොවීම
  2. එසේ මග හැරීම හේතුවෙන් එකී චෝදනාවලට ඔහු වැරදිකරු බවට සමාජයේ මතයක් ගොඩ නැගීම
  3. ශ්‍රී ලාංකික වෛද්‍ය අධ්‍යාපනය තුළ බරපතල අර්බුදයක් නිර්මාණය කිරීම
  4. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත් බව පවසමින් එය මහජන මුදලින් නඩත්තු කිරීම
  5. අභියාචනකරණයේ පවතින විභාගයකදී සයිටම් ආයතනයට පක්ෂග්‍රාහීව කරුණු දැක්වීම
  6. වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් ගැසට් කිරීම සිතා මතාම මග හැරීම
  7. ඩෙංගු වසංගතයට ක්ෂණික පිළියම් යෙදීමට අපොහොසත්වීම මගින් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය අවදානමකට ලක් කිරීම
  8. පිළිකා රෝගය සඳහා සිය හිතවතෙකුට අයත් සමාගමක් විසින් ගෙන්වන ලද, විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කළ, ඖෂධයක් මිලදී ගැනීමට බලපෑම් කිරීම
  9. ධීවර අමාත්‍ය පදවිය දැරූ සමයේ මෝදර ධීවර වරාය ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව අඩු මිලකට පෞද්ගලික සමාගමකට ලබා දී මූල්‍ය පාඩුවක් සිදු කිරීම
  10. ධීවර අමාත්‍ය පදවිය දැරූ සමයේ චීන සමාගමකට මසුන් මැරීමේ බලපත්‍ර නිකුත් කිරීම සඳහා ලාභයෙන් කොටසක් ඉල්ලා සිටීම
ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව පිළිබඳව විමසූ අවස්ථාවේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට කියා සිටියේ, එම යෝජනාව පහසුවෙන් පරාජය කිරීමට ආණ්ඩුවට හැකියාව තිබෙන බවය.
BBC