Tuesday, May 30, 2017

බංග්ලාදේශයට සුළි සුළඟක්;ලක්ෂ ගණනක් ජනතාව දුෂ්කර අඩියක




ශ්‍රී ලංකාව ගංවතුර සහ නායයාම් නිසා මහා විපතකට පත්ව සිටියදී බංග්ලාදේශයේ මුහුදුබඩ කලාපවල ජනතාව ධාරානිපාත වර්ෂාවත් සමඟ එල්ල වූ සුළි සුළඟකට මුහුණ දී සිටිති

මෝරා (Mora) යනුවෙන් නම් කරනු ලැබ ඇති එම සුළි සුළඟ නිසා මේවනවිට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කරනු ලැබ ඇත.


පැයට කිලෝමීටර් 117 ක වේගයකින් හමාගොස් ඇති සුළි සුළඟ අද අඟහරුවාදා (මැයි 30) මුලින්ම එල්ල වී ඇත්තේ කොක්ස් බෂාර් (Cox's Bazar)ධීවර වරාය සහ චිතගොං නගරය අතර කලාපයකටයි.
මුහුදු තීරයේ පහත්බිම් ප්‍රදේශයන්හි මීටර් දෙකක් තරම් උස ජල ගැල්මක් වාර්තා වූ බව බංග්ලාදේශ් නිලධාරීහු පවසති.
කොක්ස් බෂාර් ප්‍රධාන වශයෙන් රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව වාසය කරන කලාපයකි.රෝහින්ග්‍යා ප්‍රජා නායකයෙක් අදහස් දක්වමින් තම ජනයා ජීවත් වූ පැල්පත් රාශියක් විනාශ වූ බව කියා සිටියේය.
විසිදහසක් පමණ වාසස්ථාන විනාශ වූ බව ඔහු AFP මාධ්‍ය ජාලයට ප්‍රකාශ කර ඇත.
මුහුදු යාමෙන් වළකින ලෙස බංග්ලාදේශ් බලධාරීන් ධීවර ප්‍රජාවට උපදෙස් දී ඇත.
මෙම සුළි සුළඟ ඉන්දියාවට සහ මියන්මාරයටත් පහර දෙනු ඇතැයි අනාවැකි පළ කරනු ලැබ ඇත.

ගංවතුර: ඩෙංගු රෝගීන් '150% කින් ඉහල යාවි'

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ගංවතුර උවදුර හේතුවෙන් ඩෙංගු රෝගය පැතිරීම තවත් උත්සන්න විය හැකි බවට සේව් ද චිල්ඩ්රන් (Save the Children) පුණ්‍යායතනය අනතුරු අඟවයි.


ඇතැම් ප්‍රදේශවල වැසි සහිත කාලගුණය මඳක් තුරන් වී තිබෙන නමුත් ඉදිරියටත් ධාරානිඔපාත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කරන අනතුරු ඇඟවීම හමුවේ ශ්‍රී ලංකා බලධාරීන් ඉදිරියේ තවත් ප්‍රබල අභියෝගයක් මතු වී තිබෙන බවත් පුණ්‍යායතනය පෙන්වා දෙයි.
මේ වසර මුල සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 53,000 ක් වාර්තා වී තිබේ.
ගංවතුර සහ නාය යාම් හේතුවෙන් මේ වනවිට සිය දෙනෙකුවත් මියගොස් ඇති අතර, දිවයිනට බලපා තිබෙන කාලගුණ තත්ත්වය මේ මාසය අවසානය වනතෙක් පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
විශේෂයෙන්ම ලබන 29, 30 සහ 31 දිනවල දී වැසි වැඩිවීමක් සිදුවනු ඇති බවට පුරෝකථනය කර ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක පැවසීය.
එක තැන පල්වෙමින් තිබෙන ගංවතුර පහසුවෙන්ම මදුරුවන් බෝවන ස්ථාන බවට පත්වන බැවින් ගිය වසරේ මේ කාර්තුව සමග සසඳන විට ඩෙංගු රෝගය 150 % ක ප්‍රතිශතයකින් ඉහල යා හැකි බවටත් සේව් ද චිල්ඩ්රන් ආයතනය අනතුරු ඇඟවීමක් කරයි.
"ශ්‍රී ලංකාවේ පවතින මානවීය අර්බුදය තැතිගන්වන සුළුය," බව පවසන පුණ්‍යායතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ අධ්‍යක්ෂ ක්‍රිස් මැක්අයිවර්, මෝසම් වැස්ස හේතුවෙන් සාමාන්‍යයෙන් මේ කාලය තුළ බලාපොරොත්තු විය හැකි මට්ට්මට වඩා ඉතා බරපතල බලපෑමක් මෙවර ඇති වී තිබෙන බවත් සඳහන් කරයි.
ගංවතුර සහ නාය යාම්වලින් ආපදාවට ලක් වූ ශ්‍රී ලංකාවාසීන් ඩෙංගු රෝගයෙන් ද බැට කෑමේ අනතුර අවම කිරීම පිණිස, පානීය ජලය සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදාදෙමින්, දරුවන්ට මානසික උපදේශන සේවා සපයමින් සහ පාසල් යළි විවෘත කිරීමට උපකාර කරමින් සිය සංවිධානයේ සේවකයෝ ගංවතුර උවදුරට ලක් වූ ජනතාව සමග රැඳී සිටින බවත් සේව් ද චිල්ඩ්රන් ආයතනය වැඩිදුරටත් පවසයි.
කෙසේ නමුත් තවදුරටත් පවතින අයහපත් කාලගුණය හමුවේ බොහෝ ස්ථානවලට ළඟාවීම තමවත් ඉතා දුෂ්කර අතර, ගංවතුර හේතුවෙන් ඇතැම් ගම්මාන සම්පූර්ණයෙන්ම බාහිර ලෝකයෙන් හුදෙකලා වී පවතින බවත් පුණ්‍යායතනය සඳහන් කරයි.

මැති ඇමති වාහන ගෙන්වීම අත්හිටුවයි



ගංවතුර සහ නාය යාම් නිසා විශාල ජනකායක් විපතට පත්ව සිටින වාතාවරණය යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ අමාත්‍යාංශ සඳහා වාහන ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත.
එම තීරණය ගනු ලැබ තිබෙන්නේ මෙම වසරට බල පැවැත්වෙන මට්ටමිනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් එම තීරණයට එළඹ ඇත.
වහාම ක්‍රියාත්මක කෙරෙන මට්ටමින් පියවර ගන්නා මෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට උපදෙස් දී ඇති බව වාර්තාවෙයි

Sunday, May 21, 2017

මුස්ලිම් පල්ලිවලට ප්‍රහාර 'හෙලා දකිනවා' - ඇමෙරිකාව



ශ්‍රී ලංකාවේ මුස්ලිම් පල්ලිවලට එල්ලවන ප්‍රහාර සම්බන්ධයෙන් වහාම පියවර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ඒ බව පවසන කොළඹ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප්, ඕනෑම ආගමික ස්ථානයකට එල්ලවන ප්‍රහාර හෙලා දැකිය යුතු බවත් සඳහන් කරයි.




තානාපතිවරයා ඒ බව සඳහන් කරන්නේ ඉරිදා (මැයි 21) අලුයම කුරුණෑගල මාලිගාපිටියේ ජුම්මා මුස්ලිම් පල්ලියට එල්ල වූ පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරය පිළිබඳ ට්විටර් පණිවුඩයකට සිය ප්‍රතිචාරය දක්වමිනි.
පල්ලියේ දහම් අධ්‍යාපන කටයුතු සිදු කරන ශාලාවට එල්ල වී ඇති ප්‍රහාරය පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියි.

මේ සතිය ඇතුලත ශ්‍රී ලංකාවේ මුස්ලිම් පල්ලි තුනකට මේ ආකාරයෙන් ප්‍රහාර එල්ල වූ බව පෙන්වා දෙන ඇමෙරිකානු තානාපතිවරයා, මේ ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයන් ඉක්මනින් අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිණවීමට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු ඇතැයි යන්න සිය බලාපොරොත්තුව බවත් සඳහන් කරයි.
මුස්ලිම් පල්ලි සහ වෙළෙඳ ව්‍යාපාර ඉලක්ක කර ගනිමින් පසුගිය දිනවල එල්ල කෙරුණ වර්ගවාදී ප්‍රහාර සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි පියවර ගන්නේ නැත්නම් දැඩි ක්‍රියා මාර්ගයකට යන බවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන සමස්ත මුස්ලිම් නියෝජිතයෝ පසුගිය සතියේ අනතුරු ඇඟවීමක් කළහ.
එකී වර්ගවාදී ප්‍රහාර නතර කරවීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවීමට තැපැල් සහ මුස්ලිම් කටයුතු භාර අබ්දුල් හලීම් ඇමතිවරයාගේ කාර්යාලයේ පැවැත්වුන සාකච්ඡාවක දී පාර්ලිමේන්තුවේ සිටින සියලු මුස්ලිම් මැති ඇමතිවරුන් තීන්දු කළ බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන් බීබීසී සිංහල සේවයට පැවසීය.
ආණ්ඩුව ඉහත කී ප්‍රහාර නතර කිරීමට අවශ්‍ය පියවර නොගන්නේ නම් මුස්ලිම් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව තුළ වෙනම කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට එම සාකච්ඡාවේ දී ඒකමතිකව තීන්දු කළ බවත් ඔහු සඳහන් කළේය.
පසුගියදා ගාල්ලේ ඉස්ලාම් සාන්තුවරයෙකුගේ සොහොන් කොත ද කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා තිබුණ අතර, ඇල්පිටිය, පානදුර, අකුරැස්ස ඇතුළු ප්‍රදේශවල මුස්ලිම් පල්ලි සහ ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ද පසුගිය සති කිහිපය තුළ ප්‍රහාර එල්ල වී තිබුණි.
එහෙත් එම කිසිදු ප්‍රහාරයක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන ඇති බවක් වාර්තා වී නැත
BBC

Friday, May 19, 2017

100 කට සබඳතා 123.7 ක්



2016 වසර අවසාන වන විට ජංගම දුරකථන සම්බන්ධතා සංඛ්‍යාව මිලියන 26.2 ක් දක්වා සියයට 7.6 කින් වර්ධනය වී ඇති බව 2016 මහ බැංකු වාර්තාව පවසයි. මේ අතර 2015 වසරේ මිලියන 1.1 ක්වූ රැහැන් සහිත ස්ථාවර දුරකථන සම්බන්ධතා  මිලියන 1.2 ක් දක්වා සියයට 3.4 කින් ඉහළ ගොස් තිබේ.
මේ අනුව 2016 වසර  දී දුරකථන සම්බන්ධතා ඝනත්වය පුද්ගලයින් 100 කට ස්ථාවර 12.0 ක් සහ ජංගම 123.7 ක් ලෙසින් වාර්තා වේ.
2016 වසර අවසන් වන විට අන්තර්ජාල ඝනත්වය 23.2 ක් දක්වා ඉහළ නංවමින් වසර තුළ දී මුළු අන්තර්ජාල සම්බන්ධතා සංඛ්‍යාව 4,920.554 ක් දක්වා සියයට 20.3 කින් වර්ධනය වී ඇත.
2016 වසර තුළ දී සියයට 36.1 ක  වර්ධනයක් පෙන්නුම් කළ ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතා වර්ධනය, සමස්ත අන්තර්ජාල සමබන්ධතා වර්ධනය කෙරෙහි බෙහෙවින් ඉවහල් වී ඇති බවත්, 2016 වසර අවසාන වන විට ජංගම අන්තර්ජාල සම්බන්ධතා සංඛ්‍යාව පෙර වසරේ වාර්තා වූ 3,408,408 ට සාපේක්ෂව 3,991,465 දක්වා සියයට 17.1 ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත් 2016 මහ බැංකු වාර්තාව වැඩිදුරටත් පෙන්වා දේ.

කොලඹට අදත් තද වැසි



අද (19) දිනයේ ද කොලඹට මිලිමීටර් සියය ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පැයට කිලෝමීටර් 50ක් පමණ වු තරමක තද සුළං සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර වු තද සුළං ඇති විය හැකි බවයි

Thursday, May 18, 2017

ලොකේ ලොකුම අයිස් ක්‍රීම් ලන්කාවට



සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි පුර්ණ අනුබද්ධ සමාගමක් වන සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් කොළඹ 02 යූනියන් පෙදෙසේ පිහිටි බ්ලූ ජින්ජර් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම සමඟ වත්කම් විකුණුම් හා මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹ තිබේ. සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ විසින් මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම්දීමක් කර ඇත.
මෙම ගිවිසුමට අනුව Baskin-Robbins අයිස්ක්‍රීම් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන, ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ, බෙදාහැරීමේ හා සිල්ලර අලෙවියේ පරම පූර්ණ නියෝජිතත්වය සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට් වෙත හිමිවනු ඇත.
Baskin-Robbins ලොව විශාලතම අයිස් ක්‍රීම් අවන්හල් ජාලය ලෙසින් සැලකේ.
ලොව ප්‍රමුඛතම Burger King අවන්හල් ජාලයේ ශ්‍රී ලංකාවේ පරම පූර්ණ නියෝජිතත්වය හිමිව ඇත්තේ ද සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට් සමාගමටයි.

කෙල්ලෝ හයක් එක කොල්ලෙක් එක්ක සෙට් වෙලා කරපු දෙවල්



ප්‍රධාන පෙළේ රන් භාණ්ඩ උකස් ආයතනයකට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි ශාඛා කිහිපයක සේවය කළ තරුණියන් හය දෙනෙකු හා තවත් පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 250 කට ආසන්න මුදල් හා රන් භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ


සැකකාර තරුණියන් හයදෙනා සහ තරුණයා මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා හමුවට පෙරේදා (16 ) ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් තරුණයා උකස් ආයතනයේ සේවකයෙකු නොවන අතර ඔහු මෙම තරුණියන් සමීපව ඇසුරු කරමින් වංචාවට සහයෝගය ලබාදී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
මාස හතක පමණ කාලයක් තුළ මොවුන් මෙම සොරකම් සිදුකර තිබෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සැකකරයි.
සැකකර තරුණියන් මැණික්දිවෙල, වාගොල්ල, තලාතුඔය, මහනුවර හා හඟුරන්කෙත පදිංචිකරුවෝ වෙති. සැකකරු බලගොල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි.



Wednesday, May 17, 2017

මාලිංගට තවදුරටත් අවසර



එංගලන්තයේ පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (මැයි 18) උදෑසන දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
ඒ සඳහා ලසිත් මාලිංග එක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඉන්දියාවේ පැවැත්වෙන IPL තරගාවලියේ තවදුරටත් රැඳී සිටීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලසිත් මාලිංගට අවසර දී ඇත.
ලසිත් මාලිංග නියෝජනය කරන මුම්බායි ඉන්ඩින්ස් කණ්ඩායම IPL තරගාවලියේ අවසන් වටයේ තවමත් ක්‍රීඩා කරන අතර ඔවුන් මැයි 19 වෙනිදා තීරණාත්මක අවසන් පූර්ව තරගයකට සහභාගි වීමට නියමිතය.
එම තරගයෙන් මුම්බායි ඉන්ඩින්ස් කණ්ඩායම ජයගතහොත් ලසිත් මාලිංගට 21 වෙනිදා පැවැත්වීමට නියමිත IPL අවසන් මහා තරගයට ද ක්‍රීඩා කිරීමට සිදු වේ.
ඔහුට ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසර හිමිව තිබේ.
මේ අනුව ඔහුට ලබන 21 හා 23 වෙනිදා ස්කොට්ලන්තය සමග පැවැත්වීමට නියමිත පුහුණු තරග දෙකට සහභාගී වීමේ ඉඩකඩ අහිමි විය හැක.
PL තරග සඳහා සහභාගී වූ නායක ඇන්ජෙලෝ මැතිව්ස් සහ අසේල ගුණරතන යන සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පසුගිය 10 වෙනිදාට පෙර දිවයිනට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝග කර තිබිණි.
ලසිත් මාලිංග අවසන් වරට පන්දුවාර 50 තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2015 වසරේ නොවැම්බර් මාසයේදීය.
ආබාධිත තත්වය සුව අතට හැරීමෙන් අනතුරුව ඔහු ක්‍රීඩා කර ඇත්තේ විස්සයි විස්ස තරග සඳහා පමණි.
කෙසේ නමුත් ලසිත් මාලිංග පන්දුවාර 50 හේ තරග සඳහා යහපත් ශාරීරික යෝග්‍යතාවෙන් පසුවන බවත් ඔහු අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු බැවින් පුහුණු තරග අහිමිවීම එතරම් ගැටලුවක් නොවනු ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවකු බීබීසී සිංහල සේවයට පැවසීය.
මෙවර IPL තරගාවලියේ ලසිත් මාලිංග එතරම් දක්ෂතා අතරට නොපැමිණි අතර තරග 10 කට ක්‍රීඩා කර කඩුලු දහයක් දවා ගැනීමට ඔහුට හැකි විය.
ඔහුගේ පන්දු වාරයකට ලකුණු 9 කට වැඩි සංඛ්‍යාවක් ලබාගැනීමට පිතිකරුවෝ සමත් වූහ.
හෙට දින ස්කොට්ලන්තය වෙත බලා යන ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී පුහුණු තරග දෙකක් ක්‍රීඩා කරන අතර ඉන් අනතුරුව චැම්පියන්ස් කුසලානයට පෙර එංගලන්තයේදී තවත් පුහුණු තරගයකට සහභාගී වීමට නියමිතය.

වැල්ලවත්ත ගොඩනැඟිල්ලක් කඩා වැටෙයි



වැල්ලවත්ත සැවෝයි සිනමාශාලව අසළ ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්  12 දෙනෙකු දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල) ට ඇතුළත් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා පවසයි.

මහල් පහකින් යුතුව ඉදිකරමින් පැවති ගොඩනැඟිල්ලක් මෙලෙස කඩාවැටීමට ලක්ව ඇති අතර ගොඩනැඟිල්ලට යටවූ තවත් පිරිස් මුදාගනිමින් සිටි

අවට ප්‍ර දේශයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බවද  සඳහන්ය.

මේ යෝධ බළලා ගිනස් පොතට යාවිද?




සෙසු බළලුන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් විශාල, යෝධ බළලෙකු පිළිබඳ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.
ස්ටෙෆි හර්ස්ට් විසින් කුඩා ඕමාර් හදා වඩා ගනු ලැබුවේ 2013 වසරේදී.
එවක ශරීර ප්‍රමාණය අතින් ඕමාර් සහ ඔහුගේ සහෝදර සහෝදරියන් අතර එතරම් වෙනසක් දක්නට නොලැබිණි.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන ස්ටෙෆි හර්ස්ට්ගේ නිවසේ හැදී වැඩෙන ඕමාර් මේ වන විට අඩි 3 අඟල් 11 ක් දක්වා දිගට වැඩි ඇත.
ඕමාර්ගේ බාර කිලෝග්‍රෑම් 14 කි.
ඒ අනුව නිවෙස්වල ඇති කරන බළලුන් අතරින් දිගින් වැඩිම බළලා ඕමාර් විය හැක.

ගිනස් පොතට?



අන්තර්ජාලය තුළ ජනප්‍රියත්වයක් දිනා ගත් ඕමාර් දුටු ගිනස් ලෝක වාර්තා ආයතනය ස්ටෙෆි හර්ස්ට් අමතා ඔහුගේ ශරීර ප්‍රමාණය පිළිබඳ දත්ත ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
දැනට ගිනස් වාර්තා පොතට එක් වී සිටින දිගම බළලාගේ ශරීරයේ දිග ප්‍රමාණය අඩි 3 යි අඟල් 10.59 කි.
ඕමාර් ගේ හිමිකාරිය ස්ටෙෆි හර්ස්ට් සති දෙකකට පෙර ඕමාර් නමින් සමාජ ජාල ගිණුමක් ආරම්භ කර ඇති අතර එහි පළ වූ එක් ඡායාරූපයක් 270,000 වාරයක් හුවමාරු (Share) වී තිබේ.
එතැන් පටන් ඕමාර් ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළ පුවත්පත් සහ ජාතික රූපවාහිනි නාලිකාවල තරුවක් බවට පත් වී ඇත.

ජාතික ලැයිස්තුව: අමාත්‍ය සරත් ෆොන්සේකාට නොතීසි



ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමක් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී නීතිවේදී මේජර් අජිත් ප්‍රසන්න විසින් පෙත්සම ඉදිරිපත් කර තිබිණ.
මන්ත්‍රී ධුරය සදහා පත්වීම ලබන විට සරත් ෆොන්සේකා ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා නොසිටි බව පවසන පෙත්සම්කරු, එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු නොවන පුද්ගලයෙකු එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පත්කිරීම ව්‍යවස්ථා විරෝධී බව සිය පෙත්සමේ සඳහන් කරයි.
එබැවින් ෆීල්ඩ් මාෂල්වරයාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.
පෙත්සම කැඳ වූ අවස්ථාවේ මූලික විරෝධතාවක් මතුකළ නීතිපතිවරයා පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නැයි අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
එහෙත් පෙත්සම සලකා බැලීමට ඉඩදෙන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමණය විය.
ඒ අනුව ලබන ජූලි මස 12 වෙනි දින පෙත්සම සලකා බලන බව ප්‍රකාශ කළ අධිකරණය එදිනට අධිකරණයේ පෙනී සිටින මෙන් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන් වෙත නොතිසි යවන මෙන්ද පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන්නේය.

වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද?


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය දෙනෙකුට ආසන්න පිරිසක් තමන්ට හිමිවන තීරුබදු රහිත මන්ත්‍රී වාහන බලපත්‍රය වෙනත් පාර්ශවයකට විකුණා ඇති බවට වාර්තා පළ වේ.
නීතිවේදියෙකු විසින් එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කිරීමත් සමග මන්ත්‍රීවරුන්ට ලබා දෙන තීරුබදු රහිත වාහන බලපත්‍රය පිළිබඳ සමාජය තුළ යළි සංවාදයක් පැන නැගී තිබේ.
2016 වසර සඳහාවන අයවැය ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරුන් සහ රජයේ නිලධාරීන්ට වාහන බලපත්‍ර ලබා දීම අහෝසි කිරීමට ආණ්ඩුව යෝජනා කළ අතර එසේ බදු සහන ලබා දීම මගින් රජයට වාර්ෂිකව රුපියල් කෝටි හාරදහසක ආදායමක් අහිමිවන බව එයට හේතු වශයෙන් ආණ්ඩුව සඳහන් කළේය.
කෙසේ නමුත් මන්ත්‍රීවරුන්ගෙන් හා රජයේ නිලධාරීන්ගෙන් එයට එරෙහිව එල්ල වූ දැඩි විරෝධය හමුවේ යළිත් ඔවුන් වෙත තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා දීමට ආණ්ඩුව කටයුතු කළේය.
මෙලෙස ලබාදුන් වාහන බලපත්‍ර තුන්වැනි පාර්ශවයකට විකිණීමට මන්ත්‍රීවරුන් හා රජයේ නිලධාරීන් කටයුතු කරන බව පවසන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු එමගින් රටට ලැබිය යුතු විශාල බදු ආදායමක් අහිමිවන බව පෙන්වා දෙයි.
මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති වාහන බලපත්‍රවලින් පමණක් රුපියල් කෝටි හත්දහසක මුදලක් රජයට අහිමිවන බව ඔහු කියා සිටී.

ලක්ෂ දෙසීය පනහක්

සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයෙකුට ලබා දෙන වාහන බලපත්‍රයක් අලෙවි කිරීමෙන් එම මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ දෙසිය විස්සත් දෙසිය පනහත් අතර මුදලක් ලබා ගත හැකි බව මෝටර් රථ වාහන අලෙවිකරුවෝ පවසති.
එලෙස විකුණු මන්ත්‍රී වාහන බලපත්‍රයක් මිලදී ගත් මෝටර් රථ අලෙවිකරුවකු වන සමන්ත පෙරේරා බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ වර්තමානයේ ලබාදෙන වාහන බලපත්‍ර විකිණීමට කිසිදු තහනමක් නොමැති බවය.
මන්ත්‍රී වාහන බලපත්‍ර යටතේ මිල දී ගත් මෝටර් රථයක් වසර පහකට පසු පමණක් විකිණිය හැකි බවට පසුගිය පාලන සමයේ පැවති කොන්දේසිය මේ වන විට ඉන් ඉවත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
එවක වසර පහක සීමාව පනවා තිබියදීත් හොර රහසේ එම මෝටර් රථ විකුණා දැමීම සිදු වූ නමුත් මේ වන විට මන්ත්‍රීවරුන්, වෛද්‍යවරුන් ඇතුළු රජයේ නිලධාරීන් ප්‍රසිද්ධියේම ඔවුන්ගේ වාහන බලපත්‍ර විකුණා දමන බව සමන්ත පෙරේරා පවසයි.
මන්ත්‍රීවරුන්ගෙන් වැඩි දෙනෙකු මිලදී ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ තුන්සිය පනහක් පමණ වන ටොයෝටා ලෑන්ඩ් කෘසර් රථය.
ඇතැම් මන්ත්‍රීවරුන් ඒ හා සමාන වටිනාකමක් ඇති බීඑම්ඩබ්ලිව් හා මර්සිඩීස් බෙන්ස් රථ ගෙන්වා තිබේ.
එවැනි මන්ත්‍රීවරුන් හා නිලධාරීන් බහුතරයකට සිය රාජකාරි සඳහා නිල රථ ලබා දී ඇති බැවින් ඔවුහු මෙලෙස තම බලපත්‍ර විකුණා මුදල් ලබා ගැනීමට පෙළඹෙති.
ලක්ෂ හාරසීයක පමණ වටිනාකමකින් යුත් නිල රථ දෙකක් හිමිවන රජයේ අමාත්‍යවරුන්ට ද මෙම වරප්‍රසාදය හිමි වේ.

ආණ්ඩුවේ සහ ඒකාබද්ධ විපක්ෂයේ

ආණ්ඩුව මෙන්ම ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු සාමාජිකයන් ද මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම සාධාරණීකරණය කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ පමණක් ඊට විරෝධය දක්වයි.
මන්ත්‍රීවරුන් විසින් තීරුබදු වාහන බලපත්‍ර අවභාවිත කරනු ලබන බව පවසන ජනතා විමුක්ති පෙරමුණ තමන් තීරුබදු රහිත වාහන බලපත්‍රවලින් මිල දී ගනු ලබාගන්නේ සාමාන්‍ය වාහන බව පමණක් පවසයි.
කෙසේ වෙතත් රජයට බදු මුදල් අහිමි කිරීම සම්බන්ධයෙන් නීතිවේදි නාගානන්ද කොඩිතුවක්කු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ද චෝදනා එල්ල කරයි.
"මන්ත්‍රී වාහන ආනයනය කළ වහාම අලෙවි කළත්, කලකට පසුව අලෙවි කළත් රජයේ බදු ආදායම අඩු වීම එලෙසම සිදුවෙනවා. වෙනසකට තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඉන් ලැබෙන ලාභය පක්ෂ අරමුදලට බැර කිරීම සහ අනෙක් පක්ෂවල මන්ත්‍රීවරුන් එම ලාභය තම පවුලේ ගිණුමට බැර කිරීම. මේ දෙකේ කිසිම වෙනසක් නැහැ," යනුවෙන් නීතිවේදි නාගානන්ද කොඩිතුවක්කු කියා සිටී.
මුදල් අමාත්‍යංශයේ පැවති පුවත් සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු මන්ත්‍රී වාහන බලපත්‍ර විකුණා දැමීම පිළිබඳ මුදල් අමාත්‍ය රවී කරුණානායකගෙන් විමසූ අතර ඔහු එහිදී කියා සිටියේ පසුගිය ආණ්ඩු සමයේ තීරු බදු රහිත වාහන 30,000 ක් පමණ ලබාදුන් අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න නොකළේ මන්ද යන්නයි.

මුදල් ඇමතිවරයාගේ ප්‍රතිචාරය



"මීට පෙර රථවාහන තිස් දහසක් පමණ තීරු බදු රහිතව ගෙන්වා තියෙනවා කිසිදු ප්‍රශ්නයක් නැතිව. ඔය අහල තියෙන්නේ කුහකකමකින් දේශපාලකයන් විතරක් මේ වාසිය ලබාගන්නවා කියලා. රජයේ සේවකයනුත් ඒ ආකරයෙන්ම මේක ලබාගන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අයත් ලබාගෙන තියෙනවා. ඉතින් ඇයි මේ එක කොටසක් ඉලක්ක කරලා තියෙන්නේ. එදා තිස් දහසකට තිබූ ප්‍රමාණය අපි පන්දහසකට විතර ගෙනත් අත්‍යවශ්‍ය අයට විතරයි දෙන්නේ," යනුවෙන් මුදල් ඇමතිවරයා පැවසීය
තම මන්ත්‍රී වාහන බලපත්‍රය විකුණා එම මෝටර් රථ වෙනත් පුද්ගලයන්ගේ නමට ලියාපදිංචි කර දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය දෙනෙකුගේ නම් ලැයිස්තුවක් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇත.
පසුගිය වසරේ මෙම පෙත්සම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිය වාහන බලපත්‍ර විකිණූ මන්ත්‍රීවරුන් ගණනාවක් ඒවා ලියාපදිංචියට යොමු නොකිරීමට වග බලා ගන්නා බවත් නීතිඥවරයා පවසයි.
මේ තත්වය යටතේ අලුත් අයිතිකරුවන් ලියාපදිංචිය වෙනස් නොකොට මන්ත්‍රීවරයාගේ නමටම වාහනය තබා ගන්නා බවත් ඔහු කියා සිටී.
මෝටර් රථ ආඥා පනතට අනුව එය වරදක් බවත් ඒ පිළිබඳවත් තමන් පැමිණිලි කර තිබෙන බවත් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු වැඩිදුරටත් පවසයි.

බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක්

බත්තරමුල්ල ප්‍රදේශය සහ ඒ අවට පිහිටි ආණ්ඩුවේ කාර්යාල සඳහා සුනම්‍ය කාර්යාල වේලාවන් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතියකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණ බව අද (මැයි 17) කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙම තීරණය ගනු ලැබ තිබෙන්නේ පසුගිය 2016 නොවැම්බර් මාසයේ පටන් 2017 ජනවාරි මාසය තෙක් මාස තුනක කාල සීමාවක් ඇතුළත බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ආණ්ඩුවේ ආයතන වෙත පැමිණි රථවාහන සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් සිදු කරන ලද අධ්‍යයනයකින් පසුවයි.
පෞද්ගලික වාහන හෝ රාජකාරි වාහන පාවිච්චි කරන නිලධාරීන්ගෙන් 58% ක් පමණ පෙරවරු 7.00-9.30 අතර කාර්යාලයට පැමිණෙන අතර පස්වරු 3.00-5.30 ත් අතර ඔවුන් කාර්යාලවලින් පිටවීම සඳහා එම වාහන භාවිතා කර ඇති බව පෙනීගොස් ඇතිබව අදාළ කැබිනට් පත්‍රිකාවේ දැක්වෙයි.
එම තත්වය යටතේ පෙරවරු 7.30 සිට 9.30 දක්වා ඕනෑම වෙලාවක කාර්යාලයට වාර්තා කිරීමටත් රාජකාරි නිමවීමෙන් පසු පස්වරු 3.15 පටන් 5.00 දක්වා ඕනෑම වේලාවක කාර්යාලයෙන් බැහැරව යාමටත් හැකිවෙන පරිදි සැලසුම් කිරීම එම නියමු ව්‍යාපෘතියේ ඉලක්කයයි.
ඒ අතරම මාලඹේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ස්වාධීන් උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස පවත්වා ගෙනයාම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට ද කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දිළිඳුකම පිටුදැකීම පිලිබඳ (BIMSTEC) අමාත්‍ය සමුළුවේ තුන්වෙනි සැසිය මේ වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලද බව නිවේදනය කෙරිණ.
1997 වසරේ දී දිළිඳුකම පිටුදැකීම පිළිබඳ (BIMSTEC) අමාත්‍ය සමුළුව පිහිටුවා ගනු ලැබුනේ බංග්ලාදේශය,භූතානය,නේපාලය ,ඉන්දියාව ,මියන්මාරය සහ ශ්‍රී ලංකාවේ සහභාගිත්වයෙනි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් මගින් අධ්‍යයනය කරනු ලැබ ඇති අතර මැතිවරණ කොමිසන් සභාව විසින් ඉදිරිපත් කරන ලද කරුණුද සැලකිල්ලට ගනිමින් අවසන් කෙටුම්පත සකස් කර ඇති බවත් කැබිනට් පත්‍රිකාවේ දැක්වෙයි.

Tuesday, May 16, 2017

ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා'



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය පිළිබඳ ඉතා රහස්‍ය තොරතුරු රුසියානු විදේශ ඇමතිවරයාට හෙළි කර ඇතැයි ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.
ඇමරිකාව සමග රහස් තොරතුරු බෙදා ගන්නා වෙනත් පාර්ශවයක් විසින් ලබා දෙන ලද එම තොරතුරු වෙනත් කිසිදු පාර්ශවයක් සමග හුවමාරු කරගැනීමට එක්සත් ජනපදයට අවසර දී නොතිබුණු බව ද වොෂිංටන් පොස්ට් පුවත්පත පවසයි.
ගුවන් යානා තුළ ලැප්ටොප් පරිගණක භාවිත කිරීම හා සම්බන්ධ රහස් තොරතුරු එසේ රුසියාවට ලබා දී ඇති බව පුවත්පත එල්ල කරන චෝදනාවය.
ඇමරිකානු ජනාධිපතිවරයා සහ රුසියානු විදේශ අමාත්‍ය සෙර්ගේයි ලව්රොෆ් පසුගිය සතියේ ඇමරිකානු ජනාධිපති කාර්යාලයේදී හමු වූහ.
එහිදී රුසියාවට රහස් තොරතුරු ලබා දුන් බවට පළවන වාර්තා බැහැර කරන ජාතික ආරක්ෂක උපදේශක එච්ආර් මැක් මාස්ටර් විසින් එය හඳුන්වනු ලැබුවේ "අසත්‍ය පුවතක්" ලෙසය.
ජනාධිපතිවරණ සමයේ ට්‍රම්ප් ප්‍රචාරණ ව්‍යාපාරය රුසියාව හා සබඳතා පවත්වා ඇති බවට චෝදනා එල්ල වන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙමින් පවතී
එම චෝදනා ප්‍රතික්ෂේප කරන ජනාධිපති ට්‍රම්ප් විසින් එම වාර්තා හඳුන්වනු ලැබුවේ "ව්‍යාජ පුවත්" ලෙසය.
සිය ප්‍රතිවාදියා වූ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් රටේ ආරක්ෂාව හා සම්බන්ධ සංවේදී කරුණු පිළිබඳව කටයුතු කළ ආකාරය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළදී ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දැඩි විවේචනයට ලක් විය.
පැවති ඔබාමා පාලනය යටතේ 2009 - 2013 කාලය තුළ ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්ලින්ටන් රාජ්‍ය කටයුතු සඳහා සිය පෞද්ගලික ඊමේල් ගිණුම භාවිත කොට ඇති බවට චෝදනා එල්ල වේ.

"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්



නව ආණ්ඩුව බලයට පත් වී දෙවසරකට වැඩි කාලයක් ගත වී ඇතත්, ජනතාවට දුන් පොරොන්දු බොහොමයක් ඉටුකිරීමට අපොහොසත්වීම හමුවේ යළිත් වරක් රාජපක්ෂවරුන් බලයට පත්වීමේ හැකියාව බැහැර නොකළ යුතු බවට ජාත්‍යන්තර සංවිධානයක් ආණ්ඩුවට අනතුරු අඟවයි.
ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය (International Crisis Group - ICG) එම අනතුරු ඇඟවීම කරන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව දීර්ඝ වාර්තාවක් නිකුත් කරමිනි.
සන්ධාන ආණ්ඩුවේ පළමු මාස නමය ඇතුලත බොහෝ ජයග්‍රහණ ලබාගැනීමට සමත් වූ නමුත් ඉන් අනතුරුව ගතව ගිය කාලය තුළ එයින් ඉදිරියට යාමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකතත්වයෙන් යුතු ආණ්ඩුව අපොහොසත් වූවා පමණක් නොව ඇතැම් අංශවල ප්‍රගතිය පවා ආපසු හරවා ඇති බවත් ICG ආයතනය සඳහන් කරයි.
"ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමයක් සහ දේශපාලාන පක්ෂ හා වාර්ගික පදනම මත සහයෝගය වර්ධනය කිරීමේ දුර්වල අපේක්ෂා පවා අනතුරුදායක තත්වයක පවතී," යනුවෙන් වාර්තාවේ සඳහන් වේ.
මැතිවරණ වේදිකාවේදී පොරොන්දු වූ ප්‍රකාර දූෂිතයන්ට දඬුවම් කිරීමට අපොහොසත්වීම, දේශපාලන ඝාතන සම්බන්ධයෙන් කිසිවෙකුත් දඬුවම් නොලැබීම, යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පියවර ගැනීමට අපොහොසත්වීම, රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය ප්‍රතිසංවිධානය නොකිරීම, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවට සහ ආර්ථිකය යළි ගොඩනංවන බවට දුන් ප්‍රතිඥා ඇතුළු පොරොන්දු ඉටු නොකිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව වාර්තාව දීර්ඝ විස්තරයක් කරයි.
ICG ආයතනය පෙන්වාදෙන පරිදි, විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පක්ෂපාතී කණ්ඩායම් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පක්ෂපාතා කණ්ඩායම් අතර පවතින කඹ ඇදීම් හේතුවෙන් ජනාධිපතිවරයාට පක්ෂපාතී කණ්ඩායම් සංහිඳියාව සහ යහපාලනය සම්බන්ධ ප්‍රධාන ප්‍රතිසංස්කරණවලට විරෝධය දැක්වීම ප්‍රතිඥා ඉටුකිරීම ප්‍රමාදවීමට තවත් ප්‍රධාන හේතුවකි.
මේ තත්වය හමුවේ, "කාලය ඉතා ඉක්මනින් ගෙවී යමින් පවතී. රාජපක්ෂවරුන්ගේ යළි ආගමනය පිළිබඳව පක්ෂ දෙකේම (ශ්‍රීලනිප සහ එජාප) නායකයන් නොසලකා හැරිය යුතු නැත," යනුවෙන් ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කරයි.
එය වැළැක්වීම පිණිස ගත යුතු පියවර පිළිබඳව ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය ආණ්ඩුවට නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරයි:
1. සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කරමින් නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ උත්සාහය දෙගුණ කිරීම
2. උතුරේ සහ නැගෙනහිර සිවිල් පරිපාලනය ස්ථාපිත කර ජනතා විශ්වාසය දිනාගැනීම පිණිස;
අ) හමුදාව යටතේ පවතින ඉඩම් යළි ඉඩම් හිමියන්ට ලබාදීමේ ක්‍රියාදාමය වේගවත් කිරීම
ආ) ප්‍රාදේශීය ව්‍යාපාරවලට හානිකර ලෙසින් හමුදාව ව්‍යාපාරවල නිරතවීම අවසන් කිරීම
ඇ) දෙමළ සහ මුස්ලිම් ජනතාව වෙසෙන ප්‍රදේශවල හමුදාවේ මැදිහත්වීම මත බුද්ධ ප්‍රතිමා ඉදිකිරීම නැවැත්වීම
ඈ) නීත්‍යානුකූල ප්‍රාදේශීය දේශපාලන කටයුතු පිළිබඳව රහස් තොරතුරු රැස්කිරීම නැවත්වීම
3. යුද්ධයේ ප්‍රතිවිපාකවලට පිළියම් යෙදීමේ වැඩපිළිවෙල යළි ශක්තිමත් කිරීම පිණිස;
අ) අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය වහාම පිහිටුවීම
ආ) සංහිඳියාව පිළිබඳ ප්‍රවිචාරන කාර්ය සාධක බලකායේ වාර්තාව පිළිගෙන එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම
4. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර, දූෂිතයන්ට සහ මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයන්ට දඬුවම් කර නීතියේ ආධිපත්‍යය යළි පිහිටුවීම
5. ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආණ්ඩුව මුහුණදෙන අනෙක් ගැටළු සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඉහල පෙළේ කමිටුවක් පත්කිරීම
එමෙන්ම ජනතා වීරෝධයකට තුඩු දිය හැකි, ආණ්ඩුවේ වැඩපිළිවෙලට හානිකරවන ආකාරයේ ප්‍රතිසංස්කරණ ඉදිරිපත් නොකරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහාය දිය හැකි ක්‍රම පිළිබඳව ආණ්ඩුව සමග සාකච්ඡා කරන මෙන් ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ඉල්ලීමක් ද කරයි.