Wednesday, August 23, 2017

විජේදාස ඇමති පදවියෙන් නෙරපයි



ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රසිද්ධියේ විවේචනය කරනු ලැබීම මගින් කැබිනට් සාමූහික වගකීම උල්ලංඝනය කරන ලදැයි දෝෂ දර්ශනයට ලක්ව සිටි අධිකරණ සහ බුද්ධ ශාසන කටයුතු භාර ඇමති විජේදාස රාජපක්ෂ පදවියෙන් ඉවත් කරනු ලැබුණි.
කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක ප්‍රකාශයක් කරමින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අධිකරණ ඇමතිවරයා පදවියෙන් ඉවත් කරන ලද බව තහවුරු කළේය.
හම්බන්තොට වරාය 99 අවුරුද්දක් සඳහා චීනයට බදු දෙනු ලැබීම හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුව තුළදී මෙන්ම මාධ්‍ය සාකච්ඡා මගින්ද දැඩි විවේචනයට ලක් කළේය.
ඒ අතරම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන්ට එරෙහි නඩු ප්‍රමාද කරන බවටත් හිටපු අධිකරණ ඇමතිවරයාට එරෙහිව ආණ්ඩු පක්ෂය චෝදනා කරයි.
හිටපු ඇමති විජේදාස රාජපක්ෂ එම චෝදනා ප්‍රතික්ෂේප කරයි

BBC

Tuesday, August 22, 2017

අලුත්ගම කෝලාහලයට ගොදුරුවූවන්ට මුදලින් වන්දි



2014 වසරේ ජුනි 15 හා 16 වැනි වැනි දිනවල අළුත්ගම සහ බේරුවල සිදු වූ ගැටුම් වලින් මරණයට පත් සහ තුවාල ලද පුද්ගලයන්ට වන්දි ලබා දීමට රජය තීරණය කර ඇත.
පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ හා හින්දු කටයුතු භාර ඇමති ඩී එම් ස්වාමිනාදන් ඊට අදාළ යෝජනාව අද (අගෝස්තු 22) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණි.
මෙයින් වසර තුනකට පමණ පෙර පැතිර ගිය අළුත්ගම සහ බේරුවල ගැටුම්වලින් පුද්ගලයන් තිදෙනෙකු මරා දැමුණ අතර තවත් අයට තුවාල සිදු විය.
එම මිය ගිය අයගේ පවුල් සඳහා රුපියල් ලක්ෂ විස්ස බැගින් වූ වන්දි මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇත.
වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ වෙඩි තැබීමේ දී මරණයට පත්වූවන් සහ යාපනය විශ්ව විද්‍යාලයේ මිය ගිය සිසුන් වෙනුවෙන් ද රුපියල් ලක්ෂ විස්ස බැගින් වන්දි මුදල් ගෙවා තිබෙන බව අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.
ඊට අතිරේකව,අලුත්ගම සහ බේරුවල ප්‍රහාර වලින් තුවාල ලැබූ දොළොස් දෙනෙකුට රුපියල් ලක්ෂ පහක් බැගින් වන්දි ලබා දීමට ඉදිරිපත් වූ යෝජනාවකට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණි.
අළුත්ගම ගැටුමේ දී සියයකට අධික නිවාස හා ව්‍යාපාරික ස්ථාන විනාශ වූ අතර එම නිවාස හා ව්‍යාපාරික ස්ථාන හමුදාව යොදා අලුත්වැඩියා කිරීමට එවකට බලයේ සිටි රජය පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත්, එම නිවාස වල හා ව්‍යාපාරික ස්ථානවල තිබී විනාශ වූ බඩු භාණ්ඩ ආදියට කිසිදු වන්දියක් හිමි නොවූ බව ප්‍රදේශවාසීහු බීබීසියට අදහස් දක්වමින් කියා සිටියහ.

වැරදි කරුවන්ට දඬුවම් කෝ ?

අළුත්ගම ප්‍රහාරවලට සම්බන්ධ වැරදි කරුවන්ට දඬුවම් ලබා දෙන බවට නව ආණ්ඩුව බලයට පත්වීමට පෙර ප්‍රතිඥාවක් දී ඇතත්, ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගිය ජුනි මාසයේ චෝදනා කළේය.
ඒ සම්බන්ධයෙන් සිදු වූ හෝ සිදු කෙරෙන පරීක්ෂණ ගැන ආණ්ඩුවෙන් විමසීමක් කළත් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයාගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබිණි.
අළුත්ගම ප්‍රහාරයෙන් සිදු වූ මරණ පිළිබඳව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වන අතර පොලිසිය එම ප්‍රහාරවලට සම්බන්ධ සැකකරුවන් තවමත් හඳුනා ගෙන නැත.
2014 අළුත්ගම කෝලාහලයේ දී වෙඩි තැබීමකින් පුද්ගල ඝාතනයක් සිදු වූ බව තහවුරු වී ඇත.
විදේශ වාර්තාකරුවන්ගේ සංගමය එම ගැටුම් සිදු වූ වකවානුවේ පාලකයා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා හමු වූ අවස්ථාවේ එම ඝාතනය පිළිබඳව ප්‍රශ්නයක් යොමු කළ විට ඊට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා "අලුත්ගම ගැටුම්වල දී වෙඩි තැබීමක් සිදු වූ බව තමාට පළමු වතාවට අසන්නට ලැබුණේ එම ප්‍රශ්නය තුළින්" යයි කියා සිටියේය.

BBC

Tuesday, May 30, 2017

බංග්ලාදේශයට සුළි සුළඟක්;ලක්ෂ ගණනක් ජනතාව දුෂ්කර අඩියක




ශ්‍රී ලංකාව ගංවතුර සහ නායයාම් නිසා මහා විපතකට පත්ව සිටියදී බංග්ලාදේශයේ මුහුදුබඩ කලාපවල ජනතාව ධාරානිපාත වර්ෂාවත් සමඟ එල්ල වූ සුළි සුළඟකට මුහුණ දී සිටිති

මෝරා (Mora) යනුවෙන් නම් කරනු ලැබ ඇති එම සුළි සුළඟ නිසා මේවනවිට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කරනු ලැබ ඇත.


පැයට කිලෝමීටර් 117 ක වේගයකින් හමාගොස් ඇති සුළි සුළඟ අද අඟහරුවාදා (මැයි 30) මුලින්ම එල්ල වී ඇත්තේ කොක්ස් බෂාර් (Cox's Bazar)ධීවර වරාය සහ චිතගොං නගරය අතර කලාපයකටයි.
මුහුදු තීරයේ පහත්බිම් ප්‍රදේශයන්හි මීටර් දෙකක් තරම් උස ජල ගැල්මක් වාර්තා වූ බව බංග්ලාදේශ් නිලධාරීහු පවසති.
කොක්ස් බෂාර් ප්‍රධාන වශයෙන් රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව වාසය කරන කලාපයකි.රෝහින්ග්‍යා ප්‍රජා නායකයෙක් අදහස් දක්වමින් තම ජනයා ජීවත් වූ පැල්පත් රාශියක් විනාශ වූ බව කියා සිටියේය.
විසිදහසක් පමණ වාසස්ථාන විනාශ වූ බව ඔහු AFP මාධ්‍ය ජාලයට ප්‍රකාශ කර ඇත.
මුහුදු යාමෙන් වළකින ලෙස බංග්ලාදේශ් බලධාරීන් ධීවර ප්‍රජාවට උපදෙස් දී ඇත.
මෙම සුළි සුළඟ ඉන්දියාවට සහ මියන්මාරයටත් පහර දෙනු ඇතැයි අනාවැකි පළ කරනු ලැබ ඇත.

ගංවතුර: ඩෙංගු රෝගීන් '150% කින් ඉහල යාවි'

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ගංවතුර උවදුර හේතුවෙන් ඩෙංගු රෝගය පැතිරීම තවත් උත්සන්න විය හැකි බවට සේව් ද චිල්ඩ්රන් (Save the Children) පුණ්‍යායතනය අනතුරු අඟවයි.


ඇතැම් ප්‍රදේශවල වැසි සහිත කාලගුණය මඳක් තුරන් වී තිබෙන නමුත් ඉදිරියටත් ධාරානිඔපාත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කරන අනතුරු ඇඟවීම හමුවේ ශ්‍රී ලංකා බලධාරීන් ඉදිරියේ තවත් ප්‍රබල අභියෝගයක් මතු වී තිබෙන බවත් පුණ්‍යායතනය පෙන්වා දෙයි.
මේ වසර මුල සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 53,000 ක් වාර්තා වී තිබේ.
ගංවතුර සහ නාය යාම් හේතුවෙන් මේ වනවිට සිය දෙනෙකුවත් මියගොස් ඇති අතර, දිවයිනට බලපා තිබෙන කාලගුණ තත්ත්වය මේ මාසය අවසානය වනතෙක් පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
විශේෂයෙන්ම ලබන 29, 30 සහ 31 දිනවල දී වැසි වැඩිවීමක් සිදුවනු ඇති බවට පුරෝකථනය කර ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක පැවසීය.
එක තැන පල්වෙමින් තිබෙන ගංවතුර පහසුවෙන්ම මදුරුවන් බෝවන ස්ථාන බවට පත්වන බැවින් ගිය වසරේ මේ කාර්තුව සමග සසඳන විට ඩෙංගු රෝගය 150 % ක ප්‍රතිශතයකින් ඉහල යා හැකි බවටත් සේව් ද චිල්ඩ්රන් ආයතනය අනතුරු ඇඟවීමක් කරයි.
"ශ්‍රී ලංකාවේ පවතින මානවීය අර්බුදය තැතිගන්වන සුළුය," බව පවසන පුණ්‍යායතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ අධ්‍යක්ෂ ක්‍රිස් මැක්අයිවර්, මෝසම් වැස්ස හේතුවෙන් සාමාන්‍යයෙන් මේ කාලය තුළ බලාපොරොත්තු විය හැකි මට්ට්මට වඩා ඉතා බරපතල බලපෑමක් මෙවර ඇති වී තිබෙන බවත් සඳහන් කරයි.
ගංවතුර සහ නාය යාම්වලින් ආපදාවට ලක් වූ ශ්‍රී ලංකාවාසීන් ඩෙංගු රෝගයෙන් ද බැට කෑමේ අනතුර අවම කිරීම පිණිස, පානීය ජලය සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදාදෙමින්, දරුවන්ට මානසික උපදේශන සේවා සපයමින් සහ පාසල් යළි විවෘත කිරීමට උපකාර කරමින් සිය සංවිධානයේ සේවකයෝ ගංවතුර උවදුරට ලක් වූ ජනතාව සමග රැඳී සිටින බවත් සේව් ද චිල්ඩ්රන් ආයතනය වැඩිදුරටත් පවසයි.
කෙසේ නමුත් තවදුරටත් පවතින අයහපත් කාලගුණය හමුවේ බොහෝ ස්ථානවලට ළඟාවීම තමවත් ඉතා දුෂ්කර අතර, ගංවතුර හේතුවෙන් ඇතැම් ගම්මාන සම්පූර්ණයෙන්ම බාහිර ලෝකයෙන් හුදෙකලා වී පවතින බවත් පුණ්‍යායතනය සඳහන් කරයි.

මැති ඇමති වාහන ගෙන්වීම අත්හිටුවයි



ගංවතුර සහ නාය යාම් නිසා විශාල ජනකායක් විපතට පත්ව සිටින වාතාවරණය යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ අමාත්‍යාංශ සඳහා වාහන ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත.
එම තීරණය ගනු ලැබ තිබෙන්නේ මෙම වසරට බල පැවැත්වෙන මට්ටමිනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් එම තීරණයට එළඹ ඇත.
වහාම ක්‍රියාත්මක කෙරෙන මට්ටමින් පියවර ගන්නා මෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට උපදෙස් දී ඇති බව වාර්තාවෙයි

Sunday, May 21, 2017

මුස්ලිම් පල්ලිවලට ප්‍රහාර 'හෙලා දකිනවා' - ඇමෙරිකාව



ශ්‍රී ලංකාවේ මුස්ලිම් පල්ලිවලට එල්ලවන ප්‍රහාර සම්බන්ධයෙන් වහාම පියවර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ඒ බව පවසන කොළඹ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප්, ඕනෑම ආගමික ස්ථානයකට එල්ලවන ප්‍රහාර හෙලා දැකිය යුතු බවත් සඳහන් කරයි.




තානාපතිවරයා ඒ බව සඳහන් කරන්නේ ඉරිදා (මැයි 21) අලුයම කුරුණෑගල මාලිගාපිටියේ ජුම්මා මුස්ලිම් පල්ලියට එල්ල වූ පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරය පිළිබඳ ට්විටර් පණිවුඩයකට සිය ප්‍රතිචාරය දක්වමිනි.
පල්ලියේ දහම් අධ්‍යාපන කටයුතු සිදු කරන ශාලාවට එල්ල වී ඇති ප්‍රහාරය පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියි.

මේ සතිය ඇතුලත ශ්‍රී ලංකාවේ මුස්ලිම් පල්ලි තුනකට මේ ආකාරයෙන් ප්‍රහාර එල්ල වූ බව පෙන්වා දෙන ඇමෙරිකානු තානාපතිවරයා, මේ ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයන් ඉක්මනින් අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිණවීමට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු ඇතැයි යන්න සිය බලාපොරොත්තුව බවත් සඳහන් කරයි.
මුස්ලිම් පල්ලි සහ වෙළෙඳ ව්‍යාපාර ඉලක්ක කර ගනිමින් පසුගිය දිනවල එල්ල කෙරුණ වර්ගවාදී ප්‍රහාර සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි පියවර ගන්නේ නැත්නම් දැඩි ක්‍රියා මාර්ගයකට යන බවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන සමස්ත මුස්ලිම් නියෝජිතයෝ පසුගිය සතියේ අනතුරු ඇඟවීමක් කළහ.
එකී වර්ගවාදී ප්‍රහාර නතර කරවීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවීමට තැපැල් සහ මුස්ලිම් කටයුතු භාර අබ්දුල් හලීම් ඇමතිවරයාගේ කාර්යාලයේ පැවැත්වුන සාකච්ඡාවක දී පාර්ලිමේන්තුවේ සිටින සියලු මුස්ලිම් මැති ඇමතිවරුන් තීන්දු කළ බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන් බීබීසී සිංහල සේවයට පැවසීය.
ආණ්ඩුව ඉහත කී ප්‍රහාර නතර කිරීමට අවශ්‍ය පියවර නොගන්නේ නම් මුස්ලිම් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව තුළ වෙනම කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට එම සාකච්ඡාවේ දී ඒකමතිකව තීන්දු කළ බවත් ඔහු සඳහන් කළේය.
පසුගියදා ගාල්ලේ ඉස්ලාම් සාන්තුවරයෙකුගේ සොහොන් කොත ද කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා තිබුණ අතර, ඇල්පිටිය, පානදුර, අකුරැස්ස ඇතුළු ප්‍රදේශවල මුස්ලිම් පල්ලි සහ ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ද පසුගිය සති කිහිපය තුළ ප්‍රහාර එල්ල වී තිබුණි.
එහෙත් එම කිසිදු ප්‍රහාරයක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන ඇති බවක් වාර්තා වී නැත
BBC